Sunday, May 24, 2020

ජාතක කියන්නේ

ජාතක කියන්නේ

ජා + අත්ත + ක

ජා කියන්නේ ජනිත කරනවා

අත්ත කියන්නේ අත් බැව

ක කියන්නේ ක්ෂය කරනවා කියන එකයි.

මේ භවයක්, භවයක් පාසා අත්බැව් ජනිත කරමින් යන එක ක්ෂය කරන්නේ යම් රටාවකින් ද ඕකට කියනවා ජාතක කතා. මේ ලෝක සත්වයා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් වෙලිලා තේරුම් ගන්න බැරුව යනකොට නොයෙක් ආකාර උදාහරණ උපමා උපයෝගී කරගෙන ඒ කාලෙ තිබුන කතා උපයෝගී කරගෙන දහම් අර්ථයක් ඔප් නංවන්න බුදුරජාණන් වහන්සේ අරගත්තා ඒ ඒ කාලෙට තිබුන කතා. සමාජයේ මුල් බැහැගෙන තිබුන ප්‍රස්ථා පිරුළු මෙන්න මේවා අරගෙන දේශනා කරපුවහම කෙනෙක් මුදවන්න ගත්තහම, ඒ තුළින් සමහර මනුෂ්‍යයාගේ මානසික මට්ටම මොකද ගැඹුරු අර්ථ ගන්න බෑ, තමන් භාවිතා කරපු ලෝකයෙන් තමා උපමා ගන්න ඕන ඒවායින් උපමා දුන්නහම ඒ තුළින් දැනුවත් වෙලා අනේ මේ ලෝකය අසාරයි, නිස්සාරයි, ගන්න දෙයක් නෑ මේ පස්සේ ගිහිල්ලා මොනව ගන්නද මට අත්හැරී නොඇලී මිදී නිවන් ලබන එක සැනසීමක් ඔන්න ඔතෙන්ට හිත් එන්න ආපුහාම මොකද වෙන්නේ, යලි යලි ජනිත කරන්නා වූ අත්බව සසර ගමන ඉවරයි ක්ෂය වුණා නිවන් දැක්කා.

අපි උදාහරණයකට බුදුරජාණන් වහන්සේ සඳකිඳුරු ජාතකය දේශනා කරපු එක අරන් බලමු, ජනිත කරන අත්බව ක්ෂය කර දමන ආකාරය ජාතක කතාවකින් කොහොමද අහන්නෙ දකින්නේ කියලා.

මම පෙර යම් ආශ්වාදයක් විඳින්න ගිහිල්ලා ඒ හේතුවෙන් මට මෙන්න මේ දුක් විඳින්න සිද්ධ වුණා, ඒකෙන් මොනව හරි කායික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ පෙළෙන එකකට කොටුවෙන්න වුණා, අන්න එහෙමයි සිහි කරල බලන්නේ. සඳ කිඳුරු ජාතකය ගත්තාම අද ඉන්න අය ගන්නේ කිඳුරා කිඳුරියට තිබ්බ ආදරය, කිදුරිය කිඳුරාට තිබ්බ ආදරය ගැන හිතලයි. නමුත් ඒ කෙනෙක් මැරිලා අනික් කෙනා දුක්වින්ද හැටි, හැපුණු වැලපුන හැටි සිද්ධ වෙච්ච දුක් වේදනා ඒක ගැන බලන්නේ නෑ, අර වගේ ආදරයකින් ඇළුම් කරන්න ගිහින් තමයි අන්තිමට මහා දුකකින් සංවේගයකින් තැවෙන්න උනේ අන්න එහෙමයි බලන්න ඕනේ. අද සුන්දර ආදර කතාව ගැනයි බලන්නේ එතනත් මුලාව, එදා වුණෙත් කිඳුරා මැරුණයි කියලා දුක් විඳින්න වුන ඒකයි, අද කරන්නෙත් තමන්ගේ ස්වාමි පුරුෂයා මැරුණා, දාලා ගියා කියලා දුක් විඳින එක නෙමෙයි ද?

ජාතක කතා සැකසුන ආකාරය පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් පහත link එකේ ( වි. 49.40 සිට ) ඇත.
https://waharaka.com/listen/CD006-02

මුල් අදහස පහල වූ උත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය ඡයාරූප ශිල්පියා /ශිල්පිනිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වේ.

සැකසුම - තිස්ස ලියනගේ - 0718406060


හිතෙන් දැනගෙන හිතෙන් නිදහස් වෙන්න

හිතෙන් දැනගෙන හිතෙන් නිදහස් වෙන්න.

ආශ්වාදයට විරුද්ධ නිසයි එපාවෙලා තියෙන්නේ, ප්‍රශ්න වලින් අයින් වුනා කියලා එපාවීමෙන් අයින් වෙන්න බෑ.

ලෝකෙ හැටි දැනගෙන උපේක්ෂාවට පත් වෙන්න.

තමන් ප්‍රිය කරන දෙයක් නම් මනාප දෙයක් නම් ඒකෙන් කොච්චර කරදර ආවත් ඒක හොඳයි, තමන්ගේ පංචකාම ආශ්වාදයට විරුද්ධ දෙයක් නම් නිදහසට බාධා වෙන දෙයක් නම් ආවේ ඒක එකයි තරහා වෙලා තියෙන්නේ, ඒකයි එපාවෙලා තියෙන්නේ, දුක් කරදරය හින්ද නෙමෙයි එපාවෙලා තියෙන්නේ ආශ්වාදයට විරුද්ධ නිසා, මේක තමයි ලෝක ස්වභාවය. ප්‍රශ්න වලින් අයින් වුනා කියලා මේකෙන් අයින් වෙන්න බෑ, ගෙදර තියෙන්නෙත් ඔය ටික තමා බාහිර ලෝකෙ තියෙන්නෙත් ඔය ටිකමයි, ඒක හිතෙන් දැනගෙන හිතෙන් නිදහස් වෙන්න ඕන, ඒක නිදහස් වෙන්නේ නැතුව, ලෝකෙ හැටි දැනගෙන උපේක්ෂාවට පත් වෙන්නේ නැතුව, වෛර කරන අය නැතුව හොඳ අය ඉන්න තැනක් හොයාගෙන යන්න ගත්තොත් මැරෙනකම් ඇවිදින්න පුළුවන් කොතනවත් හම්බ වෙන්නෙ නෑ.

කාගෙහරි හොඳින් ඉන්න, සමගියෙන් ඉන්න අයට ප්‍රියමනාප ස්වභාවයකට, ර්ෂ්‍යා කරලා බනිනවා, බැනලා නිගරු කරනවා. නිගරු කරලා සතුටක් විඳිනවා යම් කාලෙකදි, හැබැයි ඕක අත්ති කම්ම භවෝ කියපු එකේ ගිහිල්ලා පිහිටනවා. කර්ම භවයක් තියෙනවා, අත්ථි උප්පත්ති බව කියන තැනට ඇවිල්ලා එතනදි උපදිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ අර විපාකය විපාක බවින් ඇවිදිල්ලා සම්බන්ධවෙලා ගැලපෙන විදියට බැනුම් අහන්න වෙනවා මුළු ජීවිත කාලෙම එක දවසයි දෙකයි කාටහරි බැන්නෙ, හැබැයි ජීවිත කාලයක් බැනුම් අහල වත් එක ඉවර කරගන්න බෑ, විපාක සසර කියන්නේ මේ ජාතියේ එකක් ඉතින් ඕක තෝරගන්න ඕනේ ඒකේ තියෙන භයානකකම, හොඳ එකක් නම් නෙමෙයි සසරගමන ඔහොමමයි.

කරගත්ත කර්ම වේගයක් තියනවා ඕවට, ඒ කර්ම වේග නිසා විවිධාකාර අනිෂ්ට අප්‍රිය අරමුණු මුණගැහෙනවා. අපි ඒ ගැන දන්නෙ නෑ, ඒවා පේන්නෙත් නෑ, මතකත් නෑ.

තමාට නින්දා අපහාස කරන ද්වේෂ කරන අය සමග එකම නිවසක ජීවත් වීම ආර්ය මාර්ගය වැඩීමට බාධාවක්ද? ද්වේෂ සිත් ඇති කරගන්නේ නැතිව වසන්නේ කෙසේද? පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් සහ ලෝක ස්වාභාවය එදිනෙදා දිවියට, පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක්
පහත link එකේ විනාඩි 10.40 – 12.40 දක්වා ඇත.

https://www.waharaka.com/listen/CD086-21

මුල් අදහස පහල වූ උත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

මෙහි ඇති ඡායාරූප ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය ඡයාරූප ශිල්පියා /ශිල්පිනිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වේ.

සැකසුම - තිස්ස ලියනගේ - 0718406060


වෙසක් පුන් පෝදා දහම් සිතුවිල්ල

වෙසක් පුන් පෝදා දහම් සිතුවිල්ල
අර්ථය දැනගෙනම සාදු කියන්න.
සා කියල කියන්නේ සුවය නැත්නම් ශාන්තිය, නිවන් ශාන්තිය.
උද්ධ කියන වචනයෙන් පෙන්නන්නෙ නැගී සිටිනවා ඉහලට හිටිනවා. ( එක් අර්ථයකින් )
සා + උද්ධ වෙනවා කියලා කියන්නේ නිවන් සුවය මුදුන්පත් වෙනවා කියන එක, මේක තමයි ශාසනික අර්ථය.
යහපත් දහම් වලට සා කියන වචනය කියනවා. කයෙන් සංවරවීම යහපත් දහමක්, ඒකට නගාසිටුවීමට කියනවා කායේන සංවරෝ සාදු, ඒ සුවයට ඒ යහපතට නගාසිටුවීමට පිහිටුවනවා නම්, කායසංවර බවට ඒක සාධු ගුණයක්.
සාධු වාචාය සංවරෝ, වචනය සංවර වීමත් යහපත් එකක් එහෙනම් ඒක සා කියන ගුණයට අයිති කොටසක් ක්‍රියාවලියක්. අන්න ඒකට නගා සිටුවනවට මුදුන්පත් කරගැනීමට කියනවා සාදු ගුණය.
මනසා සංවරෝ සාධු, මනස සංවර කර ගැනීමත් යහපත් ගුණයක් ඒකට නගාසිටුවීමට කියනවා මනස සංවරයි සාධු ගුණයක් කියලා.
මේ සියලු ආකාරයෙන්ම සංවරත්වයට පත් කරනවා නම් පාපයන්ගෙන් සංවර වෙනවා නම් මේක උතුම්ම සාදු ගුණය.සාධු සබ්බත්ථ සංවරො කිව්වේ ඒ උතුම්ම සුවයට නඟා සිටුවනවකම් හිත පිහිටුවනවා. ඒ සාදු ගුණයෙන් පිරුණු ස්වභාවය උත්තරීතර ගුණයට සිත පිහිටුවනවා කියන්නාවූ නැත්නම් නගා සිටවනවා කියන එකයි සාදු කියන එකේ තේරුම.
සාදු යන පදයෙහි අර්ථය පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් පහත link එකේ ( වි. 5.07 සිට ) ඇත.
https://www.waharaka.com/listen/CD046-61
මුල් අදහස පහල වූ උත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය ඡයාරූප ශිල්පියා /ශිල්පිනිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වේ.
සැකසුම - තිස්ස ලියනගේ - 0718406060

ජීවිතය රසවිදින්න

ජීවිතය රසවිදින්න

විශ්වවිද්යාලයීය උපාධිධාරීන් පිරිසක් දිනක් තමන්ගේ පැරණි විශ්රාමික මහාචාර්යවරයා බැලීම සදහා පිටත් උනා.

මොවුන් සියලුදෙනාම වෘත්තීයමය වශයෙන් ඉතා ඉහල මට්ටම්වල රැකියාවල නිරත වූවන්.

මොවුන්ගේ පැමිනීමෙන් වයසක මහාචාර්යවරයා ඉතාමත් සතුටට පත්වුනා.

ඔව්න් ආගිය තොරතුරු කතාකලා.

ක්රමානුකූලව ඔව්න් කතාකල මාතෘකාව රැකියාව සහ ජීවිතය , ඒ ආශ්රිතව ඇතිවන මානසික පීඩනය දෙසට යොමුවුනා.

රැකියාව සහ ජීවිතය පිලිබඳව ඔවුන් මුහුන දෙන ගැටලුකාරී තත්වයන් සාකච්චා කලා.

මේ අවස්තාවේදී කෝපි පානය කිරීමට සියලු දෙනාටම ආරාධනය කල මහාචාර්යවරයා මුලුතැන්ගෙයට ගොස් විශාල කෝපි ප්ලාස්කුවක් රැගෙන ආවා.

එමෙන්ම විවිද වර්ගවල කෝප්ප එකතුවක් සහිත ට්රේ එකක් ද කෝපි ප්ලාස්කුව අසලින් ගෙනැවිත් තැබුවා.

එහි,පෝල්සිලේන්,ප්ලාස්ටික්,වීදුරු සහ ක්රිස්ටල් ආදී විවිද වර්ගවල කෝප්ප අසුරා තිබුනා.

සමහරක් කෝප්ප ඉතාමත් මිල අදික ඒවා වූ අතර අනිත්වා බාල මට්ටමේ කෝප්ප උනා.

තම තමන් වෙනුවෙන් කෝපි පිලියෙල කරගන්නා ලෙස මහාචාර්යවරයා සියලුමදෙනාට ආරාධනය කලා.

සියලුමදෙනා තම තමන්ගේ කෝපි කෝප්ප පිලියෙල කරගැනීමෙන් අනතුරුව මහාචාර්යවරයා මෙසේ පැවසූවා.

"ඔබට නිරීක්ෂණය කරන්න පුලුවනිද මෙතන තිබුනු සියලුම මිල අධික දැකුම්කලු කෝප්ප ඔබ කෝපි පානය සදහා පාවිච්චිකරල තියෙනව කියල.
ඒ වගේම මිලෙන් අඩු බාල කෝප්ප සියල්ලම මේසය මත ඉතිරිවෙලා"

සියලුමදෙනා සිනහවකින් යුතුව එය අනුමතකලා.

මහාචාර්යවරයා තවදුරරටත් කතාකලා.

"ඔබ සියලුමදෙනාටම අවශ්ය කරන්නෙ හොදම දේ,ඒ වගේම මිලෙන් අධිකම දේ,
අන්න ඒ නිසයි ඔබ හොදම කෝප්ප තෝරගත්තෙ,"

ඔහු මෙසේ ද පැවසූවා.

"අන්න ඒ නිසයි ඔබ රැකියාවේදී සහ ජීවිතයේදී බොහෝ මානසික පීඩනයන්ට ලක්වෙන්නෙ"

"හොදින් තේරුම්ගන්න,
කෝප්පයේ මිල,හැඩය හෝ ප්රමානය කවදාවත් කෝපිවල රසයට බලපෑමක් ඇතිකරන්නෙ නෑ.
ඒ වගේම කෝප්පය කොච්චර මිල අධික උනත් අපි බොන දෙය සගවලයි තියාගන්නෙ."

සිසුන් මහාචාර්යවරයා දෙස බලාසිටියා.

"ඇත්තටම ඔබට අවශ්ය උනේ කෝපි පානය කරන්න.
ඒත් නොදැනුවත්වම ඔබ තෝරගත්තෙ මිල අධිකම කෝප්ප."

ඔවුන් එවිට එකිනෙකාගේ කෝප්ප දෙස බලමින් සිටියා.

"දැන් සිතන්න"

මහාචාර්යවරයා සන්සුන්ව කතාකලා

"ජීවිතය කියන්නෙ කෝපි කියල,"

"ඒ වගේම රැකියාව,මුදල්,තානාන්තර සහ සමාජය කියන්නෙ කෝප්ප වලට කියල"

"මේ හැමදෙයක්ම ජීවිතය පවත්වාගෙන යන්න උපකාර වෙන ආධාරක පමනයි.

අපි අතේ තියෙන කෝප්පයේ වර්ගය කෝපි වල රසය හෝ ගුණාත්මකභාවය වෙනස්කරන්නෙ නෑ වගේමයි ඉහත මා සදහන් කල දේවල්වලට අපේ ජීවිතය තීරණය කරන්නත් බෑ."

"බොහෝ අවස්තාවලදී අපි කෝප්පය පිලිබඳව අවධානය යොමුකරන්න ගිහින් කෝපි රසවිඳින්න අමතක කරනව."

"ඒ වගේමයි ජීවිතයත්."

"කෝපි රසවිදින්න,
කෝප්පය නෙවෙයි,"

"ඒ වගේම ජීවිතයත්,
ජීවිතය රසවිදින්න,
රැකියාව ,නිලතල,මුදල් හෝ සමාජය නෙවෙයි"

....................................................................

ලෝකයේ සතුටින්ම ජීවත්වෙන මිනිස්සුන්ට හැමදේකම හොදම දේ නැහැ.

නමුත් ඔව්න් සතු හැමදෙයක්ම හොදම දේ බවට පරිවර්තනය කරගන්නව.

සරලව ජීවත්වෙන්න.

නිර්ලෝභීව ආදරය,කරුණාව දක්වන්න.

හොදින් සොයාබලන්න.

කරුනාවෙන් කතාකරන්න.

මෙහි ඇති ඡායාරූපය හා සටහනින් කොටසක් උපුටා ගැනීමකි....

එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සංස්කරණය - තිස්ස ලියනගේ - 0718406060


ඔබගේ පැත්ත, මගේ පැත්ත, සහ ඇත්ත

ඔබගේ පැත්ත, මගේ පැත්ත, සහ ඇත්ත

ගුරුවරියක් දිනක් සිය පන්තියේ කතාවක් කීමට පටන් ගත්තා.

මේ ඒ කතාවයි.

"ගිලීයන නැවකින් තරුණ යුවලක් කෙසේ හෝ ආරක්ෂා උනා"

"අදාල යුවල ගලවාගැනීමේ ස්ථානයට ලඟාවුනා"

"ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතියේ අවසාන ජීවිතාරක්ෂක බෝට්ටුවයි"

"ඔවුන්ට මෙතැනදී ඉතා දැඩි තීරණයක් ගන්නට වනබව තේරුම්ගියා"

" එනම්,බෝට්ටුවේ ඉතිරි වී ඇත්තේ එක ආසනයක් පමනයි"

"දිවි ගලවාගතයුත්තේ කවුද"

"මොහොතක් නිහඬව සිය බිරිඳ දෙස බලාසිටි සැමියා ඇයගේ නලලත හාදුවක් තබා, ඇයව පැත්තකට තල්ලුකර දමා සැනෙකින් ජීවිතාරක්ෂක බෝට්ටුවට ගොඩවෙන අතර
ඇය කෑ ගසා කිසිවක් ඔහුට පැවසුවා"

"ඉන්පසුව දෛවය විසින් ගිලීයන නෞකාව ඇයවෙත දුන් ඉරණම කඳුළු අතරින් පිලිගන්නවා විනා ඇයට විකල්පයක් තිබුනේ නැහැ"

මොහොතකට ගුරුවරිය සිය කතාව නවත්වා සිසුන් දෙස බැලුවා.

සිසුන් අයාගත් දෙනෙතින් යුතුව ඇය කතාවේ ඉතිරි කොටස කියන තෙක් බලාසිටියා.

"ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා කෑ ගසන්නට ඇතිද"

ගුරුවරිය නිහඬබව බිඳිමින් සිසුන් වෙත පැනයක් ඉදිරිපත් කලා.

සිසුන් අතරින් විවිදාකාර පිළිතුරු ගලා ආවා.

"මම ඔබට වෛර කරනවා"

"ඔබ වැනි මිනිසෙක් විශ්වාස කරන්නට තරම් මම මෝඩ උනා."

"ඔබට ශාප වේවා"

සිසුන්ගෙන් ලැබුනු පිළිතුරු වලින් කිහිපයකුයි ඒ.

ගුරුවරියගේ දෑස් පංතියේ කොනක වාඩිවී කිසිවක් නොකියා නිහඬව සිටි සිසුවෙක් වෙත යොමුවුනා.

ඇය ඔහුගෙන් නැවතත් පෙර ප්‍රශ්නයම ඇසුවා.

"ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා කෑ ගසන්නට ඇතිද"

නිහඬව සිටි සිසුවා දෑස් ඔසවා මෙසේ පැවසුවා.

"ටීච, මම හිතන විදියට ඇය කියන්න ඇති අපේ දරුවාව හොඳින් රැකබලාගන්න කියල"

සිසුවාගේ පිළිතුරෙන් පුදුමයට පත් වූ ගුරුවරිය මෙසේ ඇසුවා.

"ඔබ මේ කතාව මීට කලින් අහල තියෙනවද"

"නැහැ, නමුත් මගේ අම්ම මියයන්න මොහොතකට කලින් මගෙ තාත්තට කීවෙ ඒ දේ,
ඒ නිසා මම අනුමාන කලා"

දිගු සුසුමක් පිටකල ගුරුවරිය නැවතත් කතාකලා.

"ඔබේ පිළිතුර නිවැරදියි ,ඇය කෑ ගසා පැවසූයේ එයයි"

"නැව ගිලී ගියා,
සිය නිවස වෙත නැවත ගිය සැමියා ඔවුන්ගේ එකම දියණියව ඉතා ආදරයෙන් රැකබලාගත්තා"

"කාලය ගතවී ගොස් දියණිය ලොකුමහත් වූ පසු කලක ඔහු මියගියා"

ගුරුවරිය දිගටම කතාව කියන්නට වුනා.

"දිනක් පරණ කැබිට්ටුවක් පරීක්ෂා කල දියණියට මවගේ පැරණි දිනපොතක් හමුවුනා."

"එහි සිය මව පිලිකාවකින් පීඩා විඳි බවත් ඇය නැවේ ගමන් කරන කාලය වනවිට ඇයට ඉතිරී වී තිබුනේ ජීවිතයෙන් ඉතාමත් කෙටි කාලයක් බවත් ලියැවී තිබුණා."

"තම දිරිය මව පියාව රැකගනිමින් සිය ජීවිතය සීතල මුහුදට කැපකලේ තමා වෙනුවෙන් බව ඇය තේරුම්ගත්තා"

"එම දිනපොතේම අවසාන පිටුවේ සිය පියාගේ අත් අකුරෙන් මෙසේ ද ලියැවී තිබුනා"

"මටත් ඔබ සමග ඒ අඳුරු රාත්‍රියේ සීතල මුහුදු පතුල සිපගන්නට තිබුණානම්"

.....................................................................

මොහොතක් සිතන්න.

මතුපිටින් පමණක් බලා අපි කෙතරම් නම් පුද්ගලයින් සහ අවස්තා පිලිබඳව නිසි අවබෝධයකින් තොරව තීරණ ගන්නවාද?

බොහෝවිට ඔවුන් ඒ තීරණ ගනු ලබන්නේ මෝඩකම හෝ නූගත්කම නිසා නොව අපට වඩා ගැඹුරු දැක්මක් ඇතිනිසා විය හැකිය.

අපට වඩා වැඩි අවබෝධයක් ඇති නිසා විය හැකිය.

අප වෙනුවෙන් ඇති ආදරය ,දයාව සහ අනුකම්පාව නිසා විය හැකිය.

සෑම තීරණයකම,

ඔබගේ පැත්ත,

මගේ පැත්ත,

සහ

ඇත්ත

යනුවෙන් තුන් ආකාරයක් ඇත.

ඉක්මන් හදිසි තීරණ ගන්නවාට වඩා දෙවරක් සිතා බැලීම සැමගේම යහපතට හේතුවනු ඇත

මෙහි ඇති ඡායාරූපය හා සටහනින් කොටසක් උපුටා ගැනීමකි....

එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සංස්කරණය - තිස්ස ලියනගේ - 0718406060




මේ ඇදිලා තියෙන ස්වීප් එකේ වටිනාකම දන්නේ නැහැ

මේ ඇදිලා තියෙන ස්වීප් එකේ වටිනාකම දන්නේ නැහැ.

මනුෂ්‍ය ජීවිතයක් ලැබීමට අප කොතරම් වාසනාවන්තද?

තිරිසන් අපාය විතරක් සැලකුවත් තිරිසන් සතුන් මිලියන 200කට එක මනුෂ්‍යයයි ඉන්නේ.

කෝටි බිලියන ගණන් වටිනා ස්වීප් එකක් ඇදෙනවා කිව්වොත් අපි හිතන්නේ මහා දෙයක් කියලා. නමුත්, මේ ඇදිලා තියෙන ස්වීප් එකේ වටිනාකම දන්නේ නැහැ.

බොරු නෙමෙයි, හිතන්න...බුදුරජාණන්වහන්සේ පෙන්නනවා මහ මුහුදේ ඉන්න සත්තු - මේ මුළු පොළවෙම තියෙන ගස් වැල් අඟලෙ, අඟලෙ කෑලි වලට කපලා මුහුදෙ ඉන්න එක සතාට එක කෑල්ල කෑල්ල තියාගෙන ගියොත්, මුළු පොළවේම තියෙන ගස්වැල් ඉවර වෙනවා, ඒත් මුහුදෙ ඉන්න සත්තු වැඩියි කියලා. මොකද මේ පෘථිවියේ හතරෙන් තුනක් ජලය, ජලයේ ඉන්න සත්තු වැඩියි.

ගොඩබිම ගත්තහම එක ඉඩමක ඉන්න කඩි, කූඹි, වේයෝ, මේ මුළු පෘථිවියේම ගොඩබිමයි, ජලයෙයි ඉන්න සත්තු ගත්තොත් සත්ව විෂය කොච්චරද?

ගිය ජීවිතයේ මරණාසන්න අවස්ථාවේ දී - ඒ එකම සත්ව යෝනියකටවත් යන්නේ නැතුව, එකම තැනකටවත් ප්‍ර‍තිසන්ධි ගන්නේ නැතුව, මනුෂ්‍යය මව් කුසක ප්‍රතිසන්ධි ගත්තා කියනකොට හිතාගන්න කොහොමද කියන එක. ඇඟ කිලිපොලා යනවා නේද?

දැනෙනවද මේ සසර කොච්චර භයානකද කියලා? මේ ලැබුණ ජීවිතයේ වටිනාකම තේරෙනවද?

මේ තුන් භවයේම තුණුරුවන් හා සමාන රත්නයක් නැහැ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. දුක් ගිනි නිවෙන මේ ධර්මය නිසා. මේ චෛත්‍යය වන්දනීය, පූජනීය තත්වයට පත්වුණේ ස්වාමීන්වහන්සේලා වන්දනීය, පූජනීය තත්වයට පත්වුණේ මේ දහම නිසා. මේ වටිනාකම ආවේ. නමුත් අපිට ඒකෙ වටිනාකම තේරෙන්නේ නැහැ, මෙච්චර වටින්නේ මොකක් නිසාද කියලා.

ලැබුවා වූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගනිමු. වහ වහා ධර්මාවබෝධයට එක්වන්න...

මෙහි ඇති ඡායාරූපය හා සටහනින් කොටසක් උපුටා ගැනීමකි....

එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සංස්කරණය - තිස්ස ලියනගේ - 0718406060



සතුටකි ඇසුර තෘප්තියකි, එය ඇත්තද ?

සතුටකි ඇසුර තෘප්තියකි,

එය ඇත්තද ?

ඔබ කෙනෙක්ට ප්‍රේම කරනවා යැයි සිතන්න. එවිට ඔබට ඇයගේ දැකීමද සිතට සැනසුමකි. සතුටකි. ඇසුර තෘප්තියකි. ඔබේත් ඇයගේත් ඇසුර දිගින් දිගට පැවතෙයි. ජීවීතයම සුන්දර ලෙසින් හැඟී යයි.

නමුත් එලෙස ඔබ ආදරය කළ ඇය වෙනත් කෙනෙක් සමඟ ප්‍රේමයෙන් වෙළී ඇති බව ඔබට හැඟී ගියොත්.. එය සාක්ෂි සහිතව ඔබ දැන ගත්තොත්...? ඔබේ සිත දුකට වේදනාවට, කළකිරීමට පත්වෙයි. පෙර මෙන් ඇයට ආදරය කිරීමට නොහැකි වෙයි. ඇයව ඔබේ සිතින් ගිලිහී යයි. ඔබව මුලා කළා යැයි ඔබ ඇය ගැන මහත් වූ කළකිරීමකට පත්වෙයි. ඔබ ඇය වෙනුවෙන් ජීවිතයෙන් කැප කළ කාලය ගැන ඔබට පසුතැවීමක් ඇතිවෙයි.. ඉන් පසු ඇය ගැන බැඳීමක් නොමැතිව එම සබදතාවය නතර වී යයි. පෙරදා කුමන ඇඳුමක් ඇන්දද , කෙලෙස සිටියද ලස්සනට සිටි ඇයව, ඔබට දැන් ලස්සනට නොපෙනේ. ඔබට පෙර මෙන් ඇය ගැන ආදරයක් ඇති නොවේ. ඇයව සිතින් අත හැරී යයි.

මේ සරල උදාහරණය තුළින්ම මේ ජීවීතය ගැනද සිතිය හැක.මේ ජීවීතය ඉතාමත් සුන්දර, දිගින් දිගට පවත්වාගත යුතු දෙයක් ලෙසින් සිතා ඔබ එයට ඇලී බැඳී ඇත. නැවත නැවත උපදින්නට ආශා කරයි. එහෙයින්ම සසර නවතන්නට නොහැකියි. මන්දයත් සිතේ තෘෂ්ණාව පවතී.
නමුත් මේ "මම, මාගේ" කියා සිතනා කයේ සහ සිතේ යථා ස්වභාවය අවබෝධවත්ම, ආදීනවය ක්‍රමයෙන් අවබෝධවත්ම ඒ ඇලීම ක්‍රමයෙන් සිතින් ගිලිහී යයි.

මේ කය සහ සිතේ පැවතීම නිසා අපට විඳින්නට වන දුක්, වේදනා නුවණින් දකිත්ම, ඒ කෙරෙහි ඇති තෘෂ්ණාව ක්‍රමයෙන් සිතෙන් නැතිවී යයි. ලෙඩ වෙන, වයසට යන, මිය යන කයක් පමණි මේ අප ආදරයෙන් රැක බලාගෙන මගේ යැයි මානයෙන් ගෙන සිටින්නේ. ඉතාමත් කුඩා අරමුණකින් පවා රාගය, ද්වේෂය, ඊර්ෂ්‍යාව , දුක, මාන්නය, ආදී කෙලෙස් වගුරවන සිතකි අප මේ මගේ කියා සිතා සිටින්නේ.
එක පැයක් සිතට කිසිම ආකාරයක තරහක්, රාගයක්, දුකක්, ඉරිසියාවක්, ආඩම්බරයක්, නොගෙන මේ මොහොත තුළ ඉතාමත් සිහියෙන් සාමකාමිව පවත්වාගන්නට ඔබට හැකිද.. ඉතාමත්ම අපහසුවෙන් ඇතැමෙකුට හැකිවනු ඇත. සිත බලන්නේම කෙලෙස් ගන්නටය.

ඔබව මුලා කල පෙම්වතියට රැවටී, ඇයට ඇලී සිටියා සේම, දුක් දෙන මේ කයට සහ සිතට අපි මුලාවී ඇලී බැඳී සිටිමු. දුක යනු මේ මිනිස් ජීවීතය තුළඳී පමණක් විඳින දුක නම් නොවේ. ඇත්තෙන්ම සසර සමඟ ගත් කල මේ අප ලත් මිනිස් දිවිය සුගතියකි. සත්වයාගේ මහගෙදර වූ සතර අපායේ දුක විස්තර කිරීමට බුදුරජාණන් වහන්සේට පවා උපමාවක් නොමැති බව දේශනා කොට ඇත.

රත්වූ හැලියේ නටන කකුළුවා මෙන් අපි මේවා නැසූ කන්ව සිටිමු. තෘෂ්ණාව එතරම්ම ප්‍රබලය. ඔබට දරුවකු සිටී නම් ඒ දරුවා ඉපදුණු දා සිට ඔහු වෙනුවෙන් කවා පොවා නිදිවරා ඔහුව හදන්නට ගත් වෙහෙස ඔබට දුකක් ලෙස කෙදිනකවත් සිතුවාද... නැත..ඒ ඔබ පණ මෙන් ඒ දරුවාට ආදරය කරන හෙයිනි. ඒ ආශාව , ආදරය විසින් ඔබේ දුක ඔබ සිතින් සඟවා ඇත. ඇතැම් මව් වරුන් , පියවරුන් දරුවන් වෙනුවෙන් විඳින දුක්, පිටත සිට බලන්නෙකුට සැබවින්ම දුක්ය. නමුත් ඒ දෙමාපියට එසේ නොවේ. වෙනස ආශාවය.ආදරයය. ඇලීමය. මේ සියළු වචන එක් වදනකින් දක්වන්නේ නම් තෘෂ්ණාවය. තෘෂ්ණාව විසින් දුක සඟවයි.
අපායේ සිටින සත්වයාද ඒ භවයට ඇලුම් කරන්නේ ඔහු සිත තුළද තෘෂ්ණාව පවතින නිසාය.

කල්ප ගණන් පුරා සිත් තුළ කැවී පැලපදියන් වී ඇති මේ තණ්හාව නැති කිරීම පහසු නැත.

පළමුවෙන්ම කළ යුතු දේ නම් ආදීනවයම සිහිකිරීමය. තණ්හාව ප්‍රබලවන්නේ මුලාව ප්‍රබල සිතකය. යතාර්ථය සිතට කියා දෙමින්, සිත ක්‍රමයෙන් මුලාවෙන් මුදවන්න. යතාර්ථය, සත්‍ය නම් මේ කයේ සහ සිතේ පැවැත්ම ඒකාන්ත දුකක් පමණක් බවය. සියළු සුඛයන් සැපයන්, ප්‍රීතින් ඉතාමත් තාවකාලිකය. එය හරියට කාන්තාරයක ගමන් ගන්නා මිනිසෙකුගේ විඩාව මොහොතකට නිවාලමින් හමා යන සුළං පොදක් මෙනි. ඒ සුළං රැල්ල හමා ගිය පසු නැවත පෙර දුකම උරුමය. ඒ මොහොතක සුවය උපමා කළ හැක්කේ අප සුගති ලෝක වල විදින සැපයන්ටය. කල්ප ගණන් නැවත උරුම අපා දුක්ය.
එසේ හෙයින් ඒ යතාර්ථය නිතර නිතර සිතට කියා දෙන්න. බොරුව තුළ මුලාවී රැවටී විඳින මෝඩ සතුටට වඩා , ඇත්ත දැන ගැනීම වටින්නේය. එවිට පමණි ඉන් ගැලවීමට පිළියමක් හෝ යෙදිය හැකිවන්නේ. එසේහෙයින් මේ සසර දුක් ගැන, කයේ සහ සිතේ පැවැත්මේ දුක් ගැන නුවණින් මෙනෙහි කරන්න. ලෙඩක් වූ විට, ප්‍රියයන් වෙන් වූ විට, ආදී නරක දෙයක් වූ විට පමණක් නොව, නිතර නිතර මෙනෙහි කරන්න. එවිට සිත ක්‍රමයෙන් තණ්හාවෙන් මිදෙනු ඇත.
විරාගය, නිබ්බිදාව වැඩෙනු ඇත.
එවැනි සිතකට ධර්මය උරාගන්නේ වියළි පොළොවට ඇද හැලෙන වැස්සක් මෙනි. එසේ නොමැති නම් නොපිට හැරවූ කළයකට දමන වතුර මෙන් ඒවා අපතේ යයි.

චතුරාර්‍ය සත්‍ය යනුද මේ අනුපිළිවෙළයි. පළමුව දුක ගැන අවබෝධ කරගත යුතුය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදු පියාණන් මේවා මැනවින් විස්තර කරයි. ඉපදීම, ලෙඩ වීම, මහළු වීම, කැමති දෑ නොලැබීම, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සම්ප්‍රයෝග ආදී සියළු දුක් ගැනද, අවසානයේ මේ සියළු දුක් පවතින්නේ මේ කයේ සහ සිතේ පැවතීම නිසාම බව අවබෝධයෙන්ම , හදවතින්ම දකින්න. ධර්මය යනු කිසි ලෙසකින්වත් කටපාඩම් කළ යුතු, මතක තබා ගත යුතු, පාඩම් කරගෙන විභාග වලින් සමත්විය යුතු ආදී අදහස් වලින් තොරව, නිදහස්ව, හදවතින්ම දකිමින් අවබෝධ කරගත යුතු දෙයකි. එය හරියට ලෝකයේ අම්මලා බොහෝ හිටියද, අම්මා යන වදනේ හැඟීම අපේ හදවතට එන්නේ තමන්ගේ අම්මා ගැන සිතද්දී මෙනි. සෑම අම්මා කෙනෙකුගේම ගුණයන් , අප දන්න නමුත්, එය හදවත පසාරු කරගනිමින් දැනෙන්නේ තමන්ගේ අම්මා ගැන හිතද්දීය. සෑම දරුවකු කෙරෙහිම ආදරය ඇති කෙනෙකුට වුව, තමන්ට දරුවකු ඉපදෙන විට ඇතිවන හැඟීම සැම අතකින්ම වෙනස් මෙනි. ධර්මයද දැන සිටීම හා හදවතට දැනීම යන දෙකේ වෙනස එයය.

ලෙඩ වීම දුකක් බව දන්න නමුදු තමන්ටම ලෙඩක් වූ විට එය හදවතටම අවබෝධ වන්නේය. මෙලෙසින් සැම දුකක්ම වචනාර්ථය ඉක්මවා යමින් හදවතින්ම ගැඹුර දකිමින් අවබෝධ කරගන්න. එවිට පමණි විරාගය, නිබ්බිදාව වැනි අනෙකුත් ධර්මතාවයන්ද අප සිත තුළ වැඩෙන්නේ. මෙලෙස දුක්ඛ සත්‍ය ගැඹුරින් දැක, ඒ සියළු දුකට හේතුව තණ්හාව බව එකින් එක තම සිතින්ම සිතා බලන්න. ඔබට දුකක් දැණුනා නම් ඒ සෑම දුකක්ම ආපස්සට මෙනෙහි කරමින් හේතුව සොයා යන්න. හේතුව තණ්හාවම බව පෙනෙනු ඇත.

ඒ තණ්හාව නැති කරන මාර්ගයට බැස , තණ්හාව නැති කිරීම විස්තර කරන්නේ 3 හා 4 වන ආර්‍ය සත්‍යයන් තුළිනි. මාර්ග සත්‍ය සහ නිරෝධ සත්‍යය යනු එයයි. මාර්ගය වැඩීමට පළමුව දුක ගැන හදවතටම දැනෙන සේ මනා අවබෝධයක් ලබා සිටීම ඉතාමත්ම අත්‍යවශ්‍යය.

ඔබේ නිවස වටා ගිනි ගනිමින් පවතිද්දී ඔබ සැපට නිදා ගන්නේද..නැත. ඔබ බියවී එයින් මිදීමේ මං සොයනු ඇත.
ගැටළුව නම් අප වටා ඇති භව ගින්න අපේ පියවි ඇසට නොපෙනීමය. අපේ හදවතට නොදැනීමය.
සොර සතුරන්ට ඒමට නොහැකි සේ මහා ප්‍රාකාර සේ තාප්ප බැඳ ආරක්ෂා වන අප , අපට නියත වශයෙන්ම උරුම වීමට ඇති මහා දුක් ප්‍රපාතය ඉදිරියේ ඇස් කන් වසා සිටිමු.
ඈතින් මිණී වලක් දිස්වෙයි. අප මොහොතක් පාසා ගමන් කරන්නේ ඒ මිනී වල දෙසටය. එන්න එන්නම ඒ දුර ප්‍රමාණය අඩු වේ.
කාලය රන් හා සමානයි කීවද මේ ලද මනුෂ්‍ය උපත තුළ, සද්ධර්මය පවතින කාලයෙහි අගය කුමකට නම් උපමා කරන්නද..!

ඔබ වටා ලෝකයම ප්‍රමාද වන්නන්ගෙන් පිරී ඇත..ඔබද ඒ නිසා ප්‍රමාදයට පත්වන්නේ නිරායාසයෙනි. එනමුදු ප්‍රඥාව මෙහෙයවා මේ ලද උපතින් විපුල ඵල නෙළා නොගන්නේ නම් , අතට දුන් දෙය කටට ලා ගන්නට වරම් නොලත් අසරණයන් ගොඩට ඔබද එක් වනු ඇත...

අප්‍රමාදී වීමම උතුම්ය

මෙහි ඇති ඡායාරූපය හා සටහනින් කොටසක් උපුටා ගැනීමකි....

එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සංස්කරණය - තිස්ස ලියනගේ - 0718406060


ඔබත් නිතර ධර්ම දේශනා ශ්‍රවණය කරන කෙනෙක්ද? එහෙනම් මේ ගැනත් අවධානය යොමු කරන්න.

මම මෙච්චර දේශනා අහලා තියෙනවා

ඔය දේශනා කරන කරුණු මම දන්නවා

ඔබත් නිතර ධර්ම දේශනා ශ්රවණය කරන කෙනෙක්ද? එහෙනම් මේ ගැනත් අවධානය යොමු කරන්න.

"මම මෙච්චර දේශනා අහලා තියෙනවා, ඔය දේශනා කරන කරුණු මම දන්නවා " එහෙම හැඟීමක් යම් කෙනෙකුට ඇති වෙනවා නම් ඔහු මානයෙන් යුක්තයි. අපි කොපමණ දැන ගෙන හිටියත් මුලු ත්රිපිටකය, අටුවා, ටීකා, අට්ඨකතා සියල්ල ප්රගුණ කරගෙන හිටියත් ධර්මය ශ්රවණය කරණ අවස්ථාවේදී මම දන්නෙ නෑ කියන හැඟීමම එන්න අවශ්යයි. මානය නැතිවම ධර්ම දේශනා ශ්රවණය කල යුතුයි.
අතීතයේ මහරහතන් වහන්සේලාත් ධර්ම දේශනා ඇසුවා. සැරියුත් මහ රහතන් වහන්සේ, මුගලන් මහා රහතන් වහන්සේ, අසූ මහා ශ්රාවක මහා රහතන් වහන්සේලාත් භාග්යවතුන් වහන්සේගෙන් සද්ධර්ම දේශනා ඇසුවා. ඒ උන් වහන්සේලා ධර්මය දන්නෙ නැතිව නොවේ. භාග්යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන විට ඉදිරියෙන්ම වැඩ සිටිමින් ධර්ම ශ්රවණය කරන්නේ මහරහතන් වහන්සේලා යන්න ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ධර්මය හොඳින් ශ්රවණය කරන්නෙත් හොඳින් ධර්මය දන්නා හිමිවරුමයි. උන් වහන්සේලා ඉතාමත් ගෞරවයෙන් ධර්මය ශ්රවණය කලා.

ධර්ම ගෞරවය නොමැතිව ධර්ම ශ්රවණය
කිරීමෙනුත් ධර්ම ශ්රවණය කිරීමෙන් ලැබෙන ආනිසංශ නොලැබේ. අනීවරණ සූත්රයේ මේ පිලිබඳ සඳහන් වෙනවා.
අනීවරණ සූත්රය
👉 https://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2188

පිරිසිදු නිර්මල ධර්ම දේශනාවක් ශ්රවණය කරන කොට පුද්ගල සංඥ්ඥාවක් නොතිබෙන්න ඕනේ. ඒ කියන්නෙ ගිහි කෙනෙක් ධර්ම දේශනා කලත් පැවිදි කෙනෙක් ධර්ම දේශනා කලත් හත් හැවිරිදි පොඩි ස්වාමීන් වහන්සේ නමක් දේශනා කලත් ඒ දේශනා කරන්නේ භාග්යවතුන් වහන්සේගේ නිර්මල සද්ධර්මයයි.ඒ නිසා දේශකයා කවුද කියන කාරණය අපට වැදගත් නෑ. අපට අවශ්ය දේශනා කරන පිරිසිදු ශ්රී සද්ධර්මයයි.
අන්න ඒ නිසා ඒ ගෞරවය දේශකයාටත් ධර්මයටත් තිබිය යුතුයි. එනම් දේශකයා ධර්මය දේශනා කරන වෙලාවට එම දේශකයා ධර්ම රත්නය බවට පත්වෙනවා.

මෙහි ඇති ඡායාරූපය හා සටහනින් කොටසක් උපුටා ගැනීමකි....

එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සංස්කරණය - තිස්ස ලියනගේ - 0718406060


පින තුළින් තමයි ජීවිතයකට සැපය ළඟාකර දෙන්නේ

පින තුළින් තමයි ජීවිතයකට සැපය ළඟාකර දෙන්නේ.

නුවණ තිබෙනවානම් පින ඕනෑම අවස්ථාවක රැස්කර ගන්නට පුළුවන්.

සල්ලි තිබෙන්නම ඕනේ ද පින් කරන්න?

පින් කිරීම පිළිබඳව බුද්ධ දේශනාව තුළ ඉතා පැහැදිලිව කරුණු සඳහන් වෙනවා. ඒ කරුණු දෙස බලද්දී අපට වැටහෙනවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව කෙතරම් නම් මේ පින පිළිබඳව වර්ණනා කර තිබෙනවාද කියා.

බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරත් පින් කිරීම පිළිබඳව යම් යම් කතාබහක් ලෝකයේ තිබුණා. බුද්ධ ශාසනයෙන් බැහැරව අන්‍ය ආගම් තුළත් පින කියන වචනයට සමාන වචන භාවිතා කරමින් යහපත් දේ ගැන කතා කරනවා. නමුත් බුද්ධ ශාසනයේ පමණයි පරිපූර්ණව පින ගැන කතා කරන්නේ. එනිසා පින කියන්නේ මොකක් ද? පිනෙන් වෙන යහපත මොකක් ද? පින් කර ගන්නා ආකාර මොනවා ද? වගේම පිනට වඩා එහා ගිය කරුණුත් බුද්ධ ශාසනය තුළ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා.

මිථ්‍යා මතය. . .

වර්තමානයේ මිනිසුන් තුළ තිබෙන මිථ්‍යා මතයක් තමයි සල්ලි තිබෙන්නම ඕනේ පින් කරන්න කියලා. එය වැරැදි මතයක්. එවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් සල්ලි නැතිව පින් කරන්න බැරිද කියා. බුද්ධ ශාසනය තුළ පින් කරන්න සල්ලි තිබෙන කෙනාටත් සල්ලි නැති කෙනාටත් පුළුවන්. සල්ලි තිබෙන කෙනාත් සල්ලි නැති කෙනාත් නුවණ පාවිච්චි කළොත් ඉතා උසස් ආකාරයෙන් පින් රැස්කර ගැනීමට අවස්ථාව තිබෙනවා.

සාමාන්‍යයෙන් යහපත කරන්න, පින් දහම් කරන්න කම්මැලි අය කියන වචනයක් තමයි අපට මුදල් තිබුණානම් අපි පින් කරනවා. නමුත් අපට එසේ වියදම් කරන්න මුදල් නැහැනේ. තිබෙන අය පින් කරන්නෙත් නැහැනේ කියා කියනවා. නමුත් කෙතරම් මුදල් ලැබුණත් දන්දීමට කැමැත්ත බොහෝ දෙනා තුළ නැහැ. පුංචි කාලයේ සිට පුරුද්දක් තිබෙන අය හෝ ධර්මය අසා තිබෙන අය හැරෙන්නට අනෙක් අය පින් රැස්කර ගැනීම ගැන කතාබහ කරන්නේ නැහැ.

පින් රැස්වෙන ක්‍රම. . .

පින කියා කියු ගමන් බොහෝ අයට සිහිපත් වන්නේ දානය යි. නමුත් පින කියන්නේ දානය පමණක් නොවේ. දස පුණ්‍ය ක්‍රියා යනුවෙන් පින් රැස් කර ගන්නා ක්‍රම දහයක් දේශනාවේ හමුවෙනවා.

දානය මෙන්ම තවත් පින් රැස් කරගත හැකි ක්‍රම තිබෙනවා කියන දැනුම අප තුළ තිබෙන්න ඕනේ. ඒ වගේම පින් කරන්න මුල්වන කරුණු තුනකි. ඒ දන් දීම, සිල් රැකීම, භාවනාවයි. දානයක් දෙනවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් දානයට මුදල් වියදම් වෙනවානේ කියලා. නමුත් සිල් රැකීම, භාවනා කිරීම, පින්දීම, පින් අනුමෝදන් වීම, අන්අයට උපස්ථාන කිරීම ආදියට මුදල් වියදම් වන්නේ නැහැ.

ක්‍රියාවකින් තොරව පින් රැස්වීම. . .

යම් ක්‍රියාවක් නො කර පින් කරගත හැකි ක්‍රමයකුත් බුදු සසුනේ තිබෙනවා. ඒ සතුන් නො මරා සිටීම. එතැන දානයකුත් දෙනවා. මොකක්ද දෙන දානය. ඒ සතුනට අභය දානය දෙනවා.

ලෝකයට භය නැතිබව දන් දෙනවා. අපට අභය දානය කිව්වාම මතක් වෙන්නේ මරන්න ඉන්න සතෙක් නිදහස් කිරීම පමණයි. එයත් අභය දානයක් තමයි. නමුත් ඒක විතරක් නොවේ අභය දානය. සතුන් නො මරා සිටීම ත් අභය දානයක්.

එයට කිසිම මුදලක්, කිසිම මහන්සියක් නැහැ. එයට අවශ්‍ය සිහිය, නුවණ වීර්යයි. සතුන් මැරීමෙන් වැළකී සිටින පුද්ගලයාට පුණ්‍ය ගඟාවක් ජීවිතයට ගලාගෙන එනවා. ඒ වගේම පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවල් පහක් ගලනවා. පින කියන්නේ සැපයට කියන නමක්. ඒ නිසාම භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි, පිනට බය වෙන්න එපා. පින කියන්නේ සැපයට කියන වචනයක් කියලා. බුද්ධ කාලයේ මතයක් තිබුණා පින් කළවිට සසර දිගු වෙනවා කියා.

එනිසා බුදුරජාණන් වහන්සේ වදාළා සසර දිගු වන්නේ පින් කිරීමන් ම නොවේ. අවිද්‍යාව හා තණ්හාව තුළින් කියා. පින් කිරීමේදී දානයක් දෙනවා නම් එහිදී අත්හැරීම නමැති ගුණයක් පුරුදු වෙනවා. එය සසර දුුකෙන් මිදෙන්න උපකාරි වෙනවා. දන් දුන්නත්, නො දුන්නත් අවිද්‍යාව දුරු නො කරන තාක් සසරේ සැරි සරනවා. දානය කියන්නේ හොඳ දෙයක්. දන් නො දීම කියන්නේ නරක දෙයක්. දුස්සීල කියන්නේ නරක දෙයක්. සිල්වත් බව කියන්නේ හොඳ දෙයක්. එනිසා නරක දේ අතහැරලා හොඳ කිරීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ දෙයක්. අපිට කෙලෙස් දුරු කරනතුරු සසරේ යන්න වෙනවා. ඒ ජීවිතය තුළ සැපවත්ව ඉන්න පුළුවන් පින තුළින්. එනිසා අපි බුද්ධ දේශනා තුළින් හොඳින් තේරුම් ගන්න පින කියන්නේ සැපයට කියන නමක්. පිනට බය වියයුතු නැහැ. පින කියන්නේ සැප වඩන දෙයක්. ඒ වගේම පින දානමය වශයෙන් පමණක් නොවේ තවත් බොහෝ ක්‍රම තුළින් රැස්කර ගන්නට පුළුවන්.

ගලා බසින පුණ්‍ය ගංගාව

බුදුරජාණන් වහන්සේ වදාළා උන්වහන්සේගේ ගුණ දැනගෙන සරණ යෑමෙනුත් ධර්මය, සඟ ගුණ දැනගෙන සරණ යෑමෙනුත් ජීවිතයට පින් ගංගාවක් ගලනවා කියා.

කෙනෙක් තුනුරුවන ගැන මුලින් වැඩි පැහැදීමක් නො තිබී පසු කාලයේ කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් තිසරණය ගැන පැහැදීමක් උපදවා ගත් අය ඒ තිසරණය ගැන පැහැදීම ඇති වූ දවසේ සිට මොනතරම් පින් රැස්කර ගන්නාව ද? කියා තේරුම් ගන්න පුළුවන්. අප හිතන රටාව, කතා කරන වචනය, ක්‍රියා කරන ආකාරය පින් වැඩෙන ආකාරයට අපට කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය පුද්ගලයාගේ සිත රාගයෙන් ද්වේෂයෙන්, මෝහයෙන් යට වෙන්නේ නැහැ. ඒ වෙලාවේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදි භාවනා තුළ සිත සෘජු වෙනවා. අකුසල් පැත්තට යන්නේ නැහැ. එහෙමනම් සිත තුළ රාග, ද්වේශ, මෝහය ආදි අකුසල් නොමැති අවස්ථාවක යහපත් සිතිවිලි තුනුරුවන් ගැන ක්‍රියාත්මක වෙනවා. එවිට නිරාමිස පී‍්‍රතිය තුළින් ඒකාන්ත පිනක් රැස් වෙනවා.

එනිසා පින් රැස්කර ගන්න නම් මුදල් ඕනේ කියන මිථ්‍යා මතය අප බැහැර කළ යුතුයි. කෙනෙක් කලින් පොහොසත් වෙන්න පුළුවන්. විවිධ හේතු නිසා පසුව දුප්පත් වෙන්න පුළුවන්. තිබෙන කාලයේ දන් දී පසුව ඒ දානය නො දී සිටියොත් එය ඔහුගේ ජීවිතයට පාඩුවක්. ඔබ දන්නවා අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායකයා. ඔහු බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා පන්සිය නමකට දිනපතා දන් දුන් කෙනෙක්. නමුත් ඔහු ණයට දුන් මුදල් නොදී සිටීමෙන් සහ සඟවා තිබු ධනය ස්වභාවික විපතින් විනාශ වී යාම නිසා දුප්පත් වුණා. නමුත් ඔහු දන්වැට නතර කළේ නැහැ. එයට හේතුව බුදුරජාණන් වහන්සේ දානය ගැන වදාළ විස්තරය අනේපිඬු සිටුතුමා දැනගෙන සිටියා. දානයේ පින රැස්වෙන්නේ එහි ප්‍රණිත බව නිසා නොවේ. පින රැස්වෙන්නේ සකසා දුන්නොත්, ගෞරවයෙන් දුන්නොත්, ඉවත නො දමන දෙයක් දුන්නොත් සහ සිත පහදවාගෙන දුන්නොත් පමණයි.

එනිසා දන් දෙන්නට කලින් හා දීමට පසු සිත පහදවා ගැනීම තුළින් අග්‍ර පින් රැස්වෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළේ ගොඩක් තිබෙන විටත් ටිකක් තිබෙන විටත් දන් දෙන්න කියා. දිනක් එක් දෙවියෙක් කියනවා දුප්පත් කෙනෙක් දුප්පත්ව දෙන දානය පොහොසත් කෙනෙක් දෙන දානයට වඩා දහස් ගුණයකින් වටිනවා. එයට හේතුව කෝටිපතියෙකුට ලක්ෂයක් දෙනවා කියන එක සුළු කරුණක්. නමුත් කුලියක් කර සුළු මුදලක් උපයන මනුස්සයෙක් තමන් උපයන ඒ මුදලින් කොටසක් දානයට දුන්නොත් ඔහු අර කෝටිපතියාට දෙන දානයට වඩා මහා දානයක් දුන් කෙනෙක් වෙනවා.

එනිසා සිල් රැකීමෙන් පුණ්‍ය ගංගාවක් ගලනවා. තෙරුවන් සරණ යාමෙන්, ධර්මය ශ්‍රවණය කිරීමෙන්, සෑයට, බෝධියකට වන්දනා කිරීමෙන් පිනක් රැස් වෙනවා. එනිසා පින් කරන්න සල්ලි ඕනේ කියන මිථ්‍යා කතාව අපි දුරින්ම දුරු කරන්න ඕනේ. නුවණ තිබෙනවානම් පින ඕනෑම අවස්ථාවක රැස්කර ගන්නට පුළුවන්. පින තුළින් තමයි ජීවිතයකට සැපය ළඟාකර දෙන්නේ.

මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) හා සටහනින් කොටසක් උපුටා ගැනීමකි....

එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සංස්කරණය - තිස්ස ලියනගේ - 0718406060


අසහනයෙන් සහනය කරා

අසහනයෙන් සහනය කරා…

‘සබ්බාසව සූත්‍රය’ ඇසුරින්

බෞද්ධ ආතති කළමනාකරණ විධි

ආතති කළමනාකරණය සම්බන්ධයෙන් ඇති ප්‍රධානම විධික්‍රමයන් හතකින් සබ්බාසව සූත්‍රය අනූන ය.

ආතතිය එනම් මානසික අසහනය අද දවසේ ලෝකයේ සෑම තැනකම විශේෂිත මාතෘකාවකි. බටහිර රටවල නම් මෙම වචනය දවසට බොහෝ වාරයක් කියවෙන අතර ඒ අසහනය නැති කර ගන්නා මාර්ග කියා දෙන විධික්‍රම වලට අය කරන්නේ ද ඉතා විශාල මිලක් ය. ආයතන සහ කර්මාන්ත ශාලාවල දිනපතා ආතතිය නිසා සිදුවන අනතුරුවල ප්‍රමාණය ද දිනෙන් දින ම වැඩි වෙමින් පවතී. කායිකව එම ස්ථානයේ සිටිය ද මානසිකව එම කටයුත්තෙහි නොයෙදීම නිසා විවිධ ආකාරයේ අනතුරු ද සිදු වේ. එම නිසා ආතතිය නැති කරගන්නා මාර්ග හඳුන්වා දෙමින් විවිධ ආයතන විශාල ආදායම් ලබයි. නමුත් බෞද්ධ ආතති කළමනාකරණ විධි ගැන තාම අප රටෙහි වත් ප්‍රසිද්ධියක් නැත. නමුත් ලෝකයෙහි ඇති හොඳම ආතති කළමනාකරණ විධි ක්‍රමයන් බුදුන් වහන්සේ විසින් දේශිතය. ඒවා වෙනත් නම්වලින් යොදාගනිමින් විවිධ පුද්ගලයින් විශේෂයෙන්ම බටහිර රටවල උගත්තු විශාල වශයෙන් මුදල් උපයා ගනිති. මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් නැති වුව ද ප්‍රශ්නය ඇත්තේ බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මයට එම ස්ථානය ලබා නො දීම ය. ත්‍රිපිටකයෙහි ඇති ‘සබ්බාසව සූත්‍රය’ ආතති කළමනාකරණය සම්බන්ධයෙන් ඇති ප්‍රධානම විධික්‍රමයන් හතකින් අනූන ය.
ආතතිය යනු කුමක්ද?
ආතතිය නැති කර ගැනීමේ මාර්ග විස්තර කිරීමට ප්‍රථම ආතතිය යනු කුමක්දැයි විමසා බලමු.
Stress යන වචනය ලතින් වචනයක් වන (hardship) වලින් බිඳී ආවකි. එහි අදහස පීඩාව, (adversity) අහේතුව , විපත, ආපදාව, (affiction) සංතාපය, යනාදියයි. ඉංගී‍්‍රසියෙන් එය Stresse ලෙසද, පැරණි ප්‍රංශ භාෂාවේ estresse ලෙසද, යෙදී ඇත. මෙම වචනය භෞතික විද්‍යාවේ ද වෛද්‍ය විද්‍යාවල ද, මනෝවිද්‍යාවේ ද චර්යාව හා සම්බන්ධ විද්‍යාවල ද යෙදී ඇත.
ආතතිය පිළිබඳ බෞද්ධ පොතපතෙහි යොදා ඇත්තේ ‘ආසව’ යන වචනය යි. බෞද්ධ මනෝවිද්‍යාවේ ඒ හා සම්බන්ධ සියලුම වචන සඳහන් කරන්නේ කෙලෙස් ලෙස ය. ලෝභ,දෝස,මෝහ ආදි කොට ඇති කෙලෙස් නිසා ඇතිවන ආසව නිසා බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රමාද වන බව ද දක්වා ඇත. සංස්කෘත භාෂාවෙන් එය ‘ආශ්‍රව’ යන වචනයෙන්ද පාලි භාෂාවේදී එයට ආසව වශයෙන් යොදා ගෙන ඇත.මෙම වචනයෙහි අදහස නම් වැගිරෙන සුළු බව පැතිරෙන සුළු බව හා සුරාවෙන් පල්වෙන බව හා මත්කරවන සුළුබව යන අර්ථයන්ය. මිනිසා කාම, භව, දෘෂ්ඨි හා අවිද්‍යාව නමැති අන්ධකාරයෙහි ඇලී ගැලී සටිනතාක් කල් ඔහුට තම කෙලෙස් දක්නට හෝ දැනීමට ඉඩ නොලැබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥ රොබට් එච්.තෞලස් ආතතිය පිළිබඳ ප්‍රකාශ කර ඇති මේ අදහසද මෙහිදී වැදගත්ය. මිනිස් සිත අරක්ගෙන ඇති විශාදය (Depression) ව්‍යවර්තනය (aversion) අවවර්තනය (Perversion) ආදී මනෝවිද්‍යාත්මක සංකල්ප රැසක් ආසව පිළිබඳ බෞද්ධ සංකල්පය තුළ ගැබ්ව ඇති බව පවසනා ඔහු ආසව යන්න සඳහා සුදුසුම ඉංගී‍්‍රසි වචනයක් නූතන මනෝවිද්‍යාවෙන් සොයාගැනීම දුෂ්කර නොවන බව පවසා ඒ සඳහා ඉතාම සුදුසු වචනය (Mental Stress) ආතතිය යැයිද පවසයි. ආසව පිළිබඳ කෙලෙස් ධර්ම සහ ඒවා නැතිකර ගත හැකි ක්‍රම පිළිබඳ සූත්‍ර දේශනා රාශියක් ත්‍රිපිටකය තුළින් අපගේ අධ්‍යයනයට යොදාගත හැකිය. සබ්බාසව සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, විතක්ක සන්ඨාන සූත්‍රය, අනුමාන සූත්‍රය, රථවිනීත සූත්‍රය, භය භේරව සූත්‍රය ආදී සූත්‍ර ධර්ම මේ සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. සබ්බාසව සූත්‍රයේදී ආසව සඳහා විඝාත පරිලාහ යන විශේෂණය යොදා ඇත. ඉන් අදහස් වන්නේ හාත්පසින්ම දැවීමක් ලෙස ය. මනෝවිද්‍යාවේ විස්තර කෙරෙන විවිධ මානසික ගති ලක්‍ෂණ මෙම ආසව තුළ ඇතුලත් වේ. පුද්ගලයකු මානසික වශයෙන් රෝගී තත්ත්වයට (නියුරෝසික තත්වයට) පත්වූ විට ඔහු කෙරෙහි දැකිය හැකි යැයි මනෝවිද්‍යාවේ සැලකෙන සැකය හා අවිනිශ්චිත භාවය, විඝඨනය, සාංකාව මනෝග්‍රස්තිය, ආභ්‍යන්තරික කලකිරීම, ආදි අයහපත් ගති ලක්‍ෂණ මෙම ආසව තුළ දැක්ක හැකිය. මෙම සූත්‍රයේදී අපගාමී මානසික ගති ලක්ෂණ 14 ක් ද සඳහන් කර ඇත.
මෝහකය, අහිරිකය,අනොත්තප්පය, උද්ධච්චය, ලෝභය, දෘෂ්ටිය, මානය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, මාත්සර්යය, කුක්කුච්චය, ථීනය, මිද්ධය, විචිකිච්චාව යනුවෙනි. සබ්බාසව සූත්‍රයේදී ආසව නැති කරගන්නා ක්‍රම හතක් දක්වා ඇත. මේ එකින් එක ගෙන විග්‍රහ කර බලමු.
1. දස්සනා පහාතබ්බා (by seeing)
අවබෝධයෙන් යුතුව දැකීමෙන් දුරු කර ගැනීම
සම්මා දිට්ඨිය එනම් යහපත් දැකීම තුළින් පුද්ගලයා තුළ තිබෙන්නා වූ කායික මානසික දුක් පීඩා දුරු කර ගත හැකි ය. නියම දැක්මක් නැති විට විවිධ අසහනයන් මතු වේ. අසත්‍ය තොරතුරු සත්‍ය වශයෙන් පිළිගත් විටත් සත්‍ය තොරතුරු අසත්‍ය වශයෙන් පිළිගත් විටත් යම් වැරදි තීරණයක දැඩි ලෙස එල්බ සිටින විට විවිධ අයුරින් මානසික අසහනයන්ට ලක්වේ. මනා අවබෝධයක් දෙදෙනා තුළ නොමැතිකම නිසා පවුලේ ප්‍රශ්නවලට හේතුවේ. බටහිර ආතති කළමනාකරණයේදී (Visual imagery) දැකීම පිළිබඳ චින්තාවලිය යනුවෙන් හඳුන්වන්නේ මෙම දැකීමය.
2. සංවරා පහාතබ්බා (By restraning)
ඉන්ද්‍රියන් සංවර කර ගැනීමෙන් ගැටලු විසඳීම
පංච ඉන්ද්‍රියන් පාලනය කර ගැනීමෙන් කෙළෙස් පහකර ගැනීම මෙහිදී සිදු කෙරේ. සීමාව ඉක්මවා ඉන්ද්‍රියන් පිනවීමට යාම නිසා විවිධ ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවේ. විශේෂයෙන් අද සමාජයේ ඇති බොහෝ මිනීමරුම්, වාහන, අනතුරු සහ අඩදබර වලට ද මූලිකම හේතුව ඉන්ද්‍රිය සංවරය නොමැතිවීම යි.
3. පටිසේවනා පහාතබ්බා (By oing)
පරිභෝග කිරීමෙන් ගැටලු විසදීම
වස්ත්‍ර ආහාර සහ බෙහෙත් තමාට අවශ්‍ය ප්‍රමාණයට පරිහරණය කිරීමෙන් කෙළෙස් පහකර හැරීම මෙහිදී අදහස් කෙරේ. අධික පරිභෝජනය නිසා ගැටලු වලට මුහුණදීම විශේෂයෙන්ම පරිසරය ද අධිකව පරිභෝජනය කිරීම නිසා විවිධ පාරිසරික ගැටලු මතුවේ.
4. අධිවසනා පහාතබ්බා (By Enduring)
ඉවසීමෙන් ගැටලු විසඳීම
දුක් කරදර ඉවසීමට නොහැකි වීම නිසා විවිධ ගැටලු පැන නඟී මය සබ්බාසව සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත. නුවණින් සලකා බලා ශීතල ඉවසන්නේ වෙයි. උෂ්ණය බඩගින්න හා පිපාසය මැසි මදුරු සුලං අව්ව සර්ප ආදි ස්පර්ශ ඉවසන්නේ වෙයි. නපුරු ලෙස පැමිණි වචන ඉවසන්නේ වෙයි. දිවි පැහැර ගැනීමට තරම් වූ ශරීර වේදනාවෙන් ඉවසන්නේ වෙයි. “මහණෙනි මේ කෙළෙස් ඉවසීමෙන් නැති කළ යුත්තාහු යැයි කියනු ලබත්.” අද සමාජයෙහි ඇති බොහෝ ප්‍රශ්න වලට හේතුව විවිධ ලෙස තරහගෙන කටයුතු කිරීම සහ ඉවසීමක් නැතිකමය.
5. පරිවජ්ජනා පහාතබ්බා (By Avoiding)
මඟහැරීමෙන් ගැටලු විසදීම
කෙළෙස් වලට මූලික වන කරුණු වලින් මඟ හැර දමා යාම මඟින් කෙළෙස් පහකර පාලනය කර ගැනීමට නොසැලිකිලිමත්කම හා අයහපත් සාමජ ආශ්‍රය නිසා විවිධ ගැටලු වලට මුහුණදීමට සිදුවේ. අයුතු තැන් හා පවිටු මිතුරන් නුවණින් සලකා බලා දුරු කළ යුතුය. වසල,පරාභව, මංගල සහ සිඟාලෝවාද සූත්‍රවලදී මේ කරුණු ගෙනහැර දක්වා ඇත. එමනිසා පාපී ක්‍රියාවලට කවුරුන් හෝ කතාකල ද එවැනි දෙයක් සිදුවන තැනක් දුටුවිට ද එවැනි දේ මඟහැර ගොස් කායික මානසික දුක් ප්‍රහාණය කළ හැකි ය.
6. විනෝදනා පහාතබ්බා (By Removing)
ඉවත් කිරීමෙන් ගැටලු විසදීම
අපට කෙළෙස් ඇතිවන කරුණු මුලිනුපුටා දැමීමෙන් කෙළෙස් පහකර හැරීම, අප සිත්තුළ එසේ ඇතිවන තරහව වෛරය කෝපය වැනි තත්ත්වයන් දුරු කර ගැනීමට නොහැකි නිසා විවිධ ගැටලු වලට මුහුණදීමට සිදුවේ. අපට එදිනෙදා ජීවිතයෙහි ඇතිවන කෝපය වැනි අවස්ථාවලදී නුවණින් සලකා බලා ඒවා අප තුළින් ඉවත්කර ගැනීමෙන් විවිධ ප්‍රශ්න විසදා ගත හැකි ය. අප තුළ පවතින විෂම අදහස් ඒ ඒවා ඉපදීමට බලපාන කරුණු ගැන මෙනෙහි කර සිහි නුවණින් ඉවත්කරගෙන කටයුතු කිරීමෙන් නියම තෘප්තියක් ලැබිය හැකිය.
7. භාවනා පහාතබ්බා (By Developing)
භාවනා කිරීමෙන් ගැටලු විසදීම
නියමාකාරයෙන් සිහිය පිහිටුවා ගෙන සතර සතිපට්ඨානය වැඩීමෙන් කෙළෙස් පහකර දැමීම මෙහිදී සිදුවේ. භාවනා නොකරන්නවුන්ට වෙහෙස දැවිල්ල සහිත කෙළෙස් ඉපදුනද භාවනා කරන්නහුට ඒ වෙහෙස දැවිල්ල සහිත කෙළෙස් පහළ නොවෙත්. භාවනාව මඟින් කෙළෙස් දුරුකළ හැකි අතර එදිනෙදා ජීවිතයෙහි සිහියෙන් කටයුතු කිරීම නිසා බොහෝ දුක් ගැහැටවලින් මිදිය හැකිය. ඔබ ගමන් කරණ විට සිටගෙන සිටින විට හිඳගෙන සිටින විට අසනවිට මේ සෑම අවස්ථාවකම සිහියෙන් සිටීම භාවනාව යි. මෙම සිහියෙන් යුක්තව කටයුතු කිරීම ප්‍රගුණ කළ යුතු ය. අවසිහියෙන් වාහනයක් පදවනවිට විවිධ අනතුරුවලට මුහුණ දෙයි. සරළ කාරණාවක් වන කෑම පිසිනවිට සිත එක් අරමුණක නැතිනම් යම් දෙයකට ලුණු අඩු හෝ වැඩිවිය හැකි අතර එයද විශාල පවුල් ප්‍රශ්නයකට මුලක් විය හැකිය.
සබ්බාසව සුත්‍රයෙහි ආසව නැතිකර ගැනීමට ලබාදී ඇති ක්‍රමෝපායන් අද කාලීන බටහිර මනෝවිද්‍යාවෙහි ආතති කළමනාකරණය සඳහා යොදාගනී. විශේෂයෙන් සතිපට්ඨාන භාවනා ක්‍රමය මෛත්‍රි භාවනා ක්‍රමය ප්‍රායෝගික ප්‍රශ්න විසදීමෙහිලා මුල් තැනක් ගනී. වර්තමාන, ලෝකයෙහි නිබඳ සාකච්ඡාවට බඳුන් වන ආතතිය නැති කරගැනීමට ‘සබ්බාසව සූත්‍රයෙහි’ සඳහන් වන මෙම විධික්‍රමයන් 7 සර්වකාලීන අගයක් ඇති බව දැක්විය හැකි ය.

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි!

මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) හා සටහනින් කොටසක් උපුටා ගැනීමකි....

එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සංස්කරණය - තිස්ස ලියනගේ - 0718406060


ආර්ය මෙත් වැඩීම

ආර්ය මෙත් වැඩීම

පෙර දිග වසන සත්වයෝ ද ,
පෙර අනු දිග වසන සත්වයෝ ද ,
දකුණු දිග වසන සත්වයෝ ද ,
දකුණු අනු දිග වසන සත්වයෝ ද ,
පසු දිග වසන සත්වයෝ ද ,
පසු අනු දිග වසන සත්වයෝ ද ,
උතුරු දිග වසන සත්වයෝ ද ,
උතුරු අනු දිග වසන සත්වයෝ ද ,
යට දිග වසන සත්වයෝ ද ,
උඩ දිග වසන සත්වයෝ ද ,

මේ මම ද , සියලූ ලෝක සියලූ සත්වයෝ ද ,

සංසාර දුකින් මිදෙත්වා!
සංසාර රෝගයෙන් මිදෙත්වා!
සංසාර භයෙන් මිදෙත්වා!
සංසාර ගින්නෙන් මිදෙත්වා!
සංසාර දාහයෙන් මිදෙත්වා!
සංසාර ශෝකයෙන් මිදෙත්වා!
සංසාර රාගයෙන් මිදෙත්වා!
සංසාර බැම්මෙන් මිදෙත්වා!
සංසාර සයුරෙන් මිදෙත්වා!
සංසාර කතරෙන් මිදෙත්වා!
සංසාර අඳුරෙන් මිදෙත්වා!

නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!!!
නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!!!
නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!!!

https://drive.google.com/drive/folders/1U_J5jf6419161M2RPBKKhIN7_EtpxGJJ කර්මස්තාන වැඩීම - ධර්මයයි මමයි

https://www.waharaka.com/data/books/editions/aarya-maithree-bhaavanaaven-labana-sanaseema.pdf#page=6 ආර්ය මෙත් වැඩීම පොත

මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) උපුටා ගැනීමකි....

එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සැකසුම - තිස්ස ලියනගේ - 0718406060


ජාතක කියන්නේ

ජාතක කියන්නේ ජා + අත්ත + ක ජා කියන්නේ ජනිත කරනවා අත්ත කියන්නේ අත් බැව ක කියන්නේ ක්ෂය කරනවා කියන එකයි. මේ භවයක්, භවයක් පාසා අත්බැව් ජනිත කරමි...