එය ඇත්තද ?
ඔබ කෙනෙක්ට ප්‍රේම කරනවා යැයි සිතන්න. එවිට ඔබට ඇයගේ දැකීමද සිතට සැනසුමකි. සතුටකි. ඇසුර තෘප්තියකි. ඔබේත් ඇයගේත් ඇසුර දිගින් දිගට පැවතෙයි. ජීවීතයම සුන්දර ලෙසින් හැඟී යයි.
නමුත් එලෙස ඔබ ආදරය කළ ඇය වෙනත් කෙනෙක් සමඟ ප්‍රේමයෙන් වෙළී ඇති බව ඔබට හැඟී ගියොත්.. එය සාක්ෂි සහිතව ඔබ දැන ගත්තොත්...? ඔබේ සිත දුකට වේදනාවට, කළකිරීමට පත්වෙයි. පෙර මෙන් ඇයට ආදරය කිරීමට නොහැකි වෙයි. ඇයව ඔබේ සිතින් ගිලිහී යයි. ඔබව මුලා කළා යැයි ඔබ ඇය ගැන මහත් වූ කළකිරීමකට පත්වෙයි. ඔබ ඇය වෙනුවෙන් ජීවිතයෙන් කැප කළ කාලය ගැන ඔබට පසුතැවීමක් ඇතිවෙයි.. ඉන් පසු ඇය ගැන බැඳීමක් නොමැතිව එම සබදතාවය නතර වී යයි. පෙරදා කුමන ඇඳුමක් ඇන්දද , කෙලෙස සිටියද ලස්සනට සිටි ඇයව, ඔබට දැන් ලස්සනට නොපෙනේ. ඔබට පෙර මෙන් ඇය ගැන ආදරයක් ඇති නොවේ. ඇයව සිතින් අත හැරී යයි.
මේ සරල උදාහරණය තුළින්ම මේ ජීවීතය ගැනද සිතිය හැක.මේ ජීවීතය ඉතාමත් සුන්දර, දිගින් දිගට පවත්වාගත යුතු දෙයක් ලෙසින් සිතා ඔබ එයට ඇලී බැඳී ඇත. නැවත නැවත උපදින්නට ආශා කරයි. එහෙයින්ම සසර නවතන්නට නොහැකියි. මන්දයත් සිතේ තෘෂ්ණාව පවතී.
නමුත් මේ "මම, මාගේ" කියා සිතනා කයේ සහ සිතේ යථා ස්වභාවය අවබෝධවත්ම, ආදීනවය ක්‍රමයෙන් අවබෝධවත්ම ඒ ඇලීම ක්‍රමයෙන් සිතින් ගිලිහී යයි.
මේ කය සහ සිතේ පැවතීම නිසා අපට විඳින්නට වන දුක්, වේදනා නුවණින් දකිත්ම, ඒ කෙරෙහි ඇති තෘෂ්ණාව ක්‍රමයෙන් සිතෙන් නැතිවී යයි. ලෙඩ වෙන, වයසට යන, මිය යන කයක් පමණි මේ අප ආදරයෙන් රැක බලාගෙන මගේ යැයි මානයෙන් ගෙන සිටින්නේ. ඉතාමත් කුඩා අරමුණකින් පවා රාගය, ද්වේෂය, ඊර්ෂ්‍යාව , දුක, මාන්නය, ආදී කෙලෙස් වගුරවන සිතකි අප මේ මගේ කියා සිතා සිටින්නේ.
එක පැයක් සිතට කිසිම ආකාරයක තරහක්, රාගයක්, දුකක්, ඉරිසියාවක්, ආඩම්බරයක්, නොගෙන මේ මොහොත තුළ ඉතාමත් සිහියෙන් සාමකාමිව පවත්වාගන්නට ඔබට හැකිද.. ඉතාමත්ම අපහසුවෙන් ඇතැමෙකුට හැකිවනු ඇත. සිත බලන්නේම කෙලෙස් ගන්නටය.
ඔබව මුලා කල පෙම්වතියට රැවටී, ඇයට ඇලී සිටියා සේම, දුක් දෙන මේ කයට සහ සිතට අපි මුලාවී ඇලී බැඳී සිටිමු. දුක යනු මේ මිනිස් ජීවීතය තුළඳී පමණක් විඳින දුක නම් නොවේ. ඇත්තෙන්ම සසර සමඟ ගත් කල මේ අප ලත් මිනිස් දිවිය සුගතියකි. සත්වයාගේ මහගෙදර වූ සතර අපායේ දුක විස්තර කිරීමට බුදුරජාණන් වහන්සේට පවා උපමාවක් නොමැති බව දේශනා කොට ඇත.
රත්වූ හැලියේ නටන කකුළුවා මෙන් අපි මේවා නැසූ කන්ව සිටිමු. තෘෂ්ණාව එතරම්ම ප්‍රබලය. ඔබට දරුවකු සිටී නම් ඒ දරුවා ඉපදුණු දා සිට ඔහු වෙනුවෙන් කවා පොවා නිදිවරා ඔහුව හදන්නට ගත් වෙහෙස ඔබට දුකක් ලෙස කෙදිනකවත් සිතුවාද... නැත..ඒ ඔබ පණ මෙන් ඒ දරුවාට ආදරය කරන හෙයිනි. ඒ ආශාව , ආදරය විසින් ඔබේ දුක ඔබ සිතින් සඟවා ඇත. ඇතැම් මව් වරුන් , පියවරුන් දරුවන් වෙනුවෙන් විඳින දුක්, පිටත සිට බලන්නෙකුට සැබවින්ම දුක්ය. නමුත් ඒ දෙමාපියට එසේ නොවේ. වෙනස ආශාවය.ආදරයය. ඇලීමය. මේ සියළු වචන එක් වදනකින් දක්වන්නේ නම් තෘෂ්ණාවය. තෘෂ්ණාව විසින් දුක සඟවයි.
අපායේ සිටින සත්වයාද ඒ භවයට ඇලුම් කරන්නේ ඔහු සිත තුළද තෘෂ්ණාව පවතින නිසාය.
කල්ප ගණන් පුරා සිත් තුළ කැවී පැලපදියන් වී ඇති මේ තණ්හාව නැති කිරීම පහසු නැත.
පළමුවෙන්ම කළ යුතු දේ නම් ආදීනවයම සිහිකිරීමය. තණ්හාව ප්‍රබලවන්නේ මුලාව ප්‍රබල සිතකය. යතාර්ථය සිතට කියා දෙමින්, සිත ක්‍රමයෙන් මුලාවෙන් මුදවන්න. යතාර්ථය, සත්‍ය නම් මේ කයේ සහ සිතේ පැවැත්ම ඒකාන්ත දුකක් පමණක් බවය. සියළු සුඛයන් සැපයන්, ප්‍රීතින් ඉතාමත් තාවකාලිකය. එය හරියට කාන්තාරයක ගමන් ගන්නා මිනිසෙකුගේ විඩාව මොහොතකට නිවාලමින් හමා යන සුළං පොදක් මෙනි. ඒ සුළං රැල්ල හමා ගිය පසු නැවත පෙර දුකම උරුමය. ඒ මොහොතක සුවය උපමා කළ හැක්කේ අප සුගති ලෝක වල විදින සැපයන්ටය. කල්ප ගණන් නැවත උරුම අපා දුක්ය.
එසේ හෙයින් ඒ යතාර්ථය නිතර නිතර සිතට කියා දෙන්න. බොරුව තුළ මුලාවී රැවටී විඳින මෝඩ සතුටට වඩා , ඇත්ත දැන ගැනීම වටින්නේය. එවිට පමණි ඉන් ගැලවීමට පිළියමක් හෝ යෙදිය හැකිවන්නේ. එසේහෙයින් මේ සසර දුක් ගැන, කයේ සහ සිතේ පැවැත්මේ දුක් ගැන නුවණින් මෙනෙහි කරන්න. ලෙඩක් වූ විට, ප්‍රියයන් වෙන් වූ විට, ආදී නරක දෙයක් වූ විට පමණක් නොව, නිතර නිතර මෙනෙහි කරන්න. එවිට සිත ක්‍රමයෙන් තණ්හාවෙන් මිදෙනු ඇත.
විරාගය, නිබ්බිදාව වැඩෙනු ඇත.
එවැනි සිතකට ධර්මය උරාගන්නේ වියළි පොළොවට ඇද හැලෙන වැස්සක් මෙනි. එසේ නොමැති නම් නොපිට හැරවූ කළයකට දමන වතුර මෙන් ඒවා අපතේ යයි.
චතුරාර්‍ය සත්‍ය යනුද මේ අනුපිළිවෙළයි. පළමුව දුක ගැන අවබෝධ කරගත යුතුය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදු පියාණන් මේවා මැනවින් විස්තර කරයි. ඉපදීම, ලෙඩ වීම, මහළු වීම, කැමති දෑ නොලැබීම, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සම්ප්‍රයෝග ආදී සියළු දුක් ගැනද, අවසානයේ මේ සියළු දුක් පවතින්නේ මේ කයේ සහ සිතේ පැවතීම නිසාම බව අවබෝධයෙන්ම , හදවතින්ම දකින්න. ධර්මය යනු කිසි ලෙසකින්වත් කටපාඩම් කළ යුතු, මතක තබා ගත යුතු, පාඩම් කරගෙන විභාග වලින් සමත්විය යුතු ආදී අදහස් වලින් තොරව, නිදහස්ව, හදවතින්ම දකිමින් අවබෝධ කරගත යුතු දෙයකි. එය හරියට ලෝකයේ අම්මලා බොහෝ හිටියද, අම්මා යන වදනේ හැඟීම අපේ හදවතට එන්නේ තමන්ගේ අම්මා ගැන සිතද්දී මෙනි. සෑම අම්මා කෙනෙකුගේම ගුණයන් , අප දන්න නමුත්, එය හදවත පසාරු කරගනිමින් දැනෙන්නේ තමන්ගේ අම්මා ගැන හිතද්දීය. සෑම දරුවකු කෙරෙහිම ආදරය ඇති කෙනෙකුට වුව, තමන්ට දරුවකු ඉපදෙන විට ඇතිවන හැඟීම සැම අතකින්ම වෙනස් මෙනි. ධර්මයද දැන සිටීම හා හදවතට දැනීම යන දෙකේ වෙනස එයය.
ලෙඩ වීම දුකක් බව දන්න නමුදු තමන්ටම ලෙඩක් වූ විට එය හදවතටම අවබෝධ වන්නේය. මෙලෙසින් සැම දුකක්ම වචනාර්ථය ඉක්මවා යමින් හදවතින්ම ගැඹුර දකිමින් අවබෝධ කරගන්න. එවිට පමණි විරාගය, නිබ්බිදාව වැනි අනෙකුත් ධර්මතාවයන්ද අප සිත තුළ වැඩෙන්නේ. මෙලෙස දුක්ඛ සත්‍ය ගැඹුරින් දැක, ඒ සියළු දුකට හේතුව තණ්හාව බව එකින් එක තම සිතින්ම සිතා බලන්න. ඔබට දුකක් දැණුනා නම් ඒ සෑම දුකක්ම ආපස්සට මෙනෙහි කරමින් හේතුව සොයා යන්න. හේතුව තණ්හාවම බව පෙනෙනු ඇත.
ඒ තණ්හාව නැති කරන මාර්ගයට බැස , තණ්හාව නැති කිරීම විස්තර කරන්නේ 3 හා 4 වන ආර්‍ය සත්‍යයන් තුළිනි. මාර්ග සත්‍ය සහ නිරෝධ සත්‍යය යනු එයයි. මාර්ගය වැඩීමට පළමුව දුක ගැන හදවතටම දැනෙන සේ මනා අවබෝධයක් ලබා සිටීම ඉතාමත්ම අත්‍යවශ්‍යය.
ඔබේ නිවස වටා ගිනි ගනිමින් පවතිද්දී ඔබ සැපට නිදා ගන්නේද..නැත. ඔබ බියවී එයින් මිදීමේ මං සොයනු ඇත.
ගැටළුව නම් අප වටා ඇති භව ගින්න අපේ පියවි ඇසට නොපෙනීමය. අපේ හදවතට නොදැනීමය.
සොර සතුරන්ට ඒමට නොහැකි සේ මහා ප්‍රාකාර සේ තාප්ප බැඳ ආරක්ෂා වන අප , අපට නියත වශයෙන්ම උරුම වීමට ඇති මහා දුක් ප්‍රපාතය ඉදිරියේ ඇස් කන් වසා සිටිමු.
ඈතින් මිණී වලක් දිස්වෙයි. අප මොහොතක් පාසා ගමන් කරන්නේ ඒ මිනී වල දෙසටය. එන්න එන්නම ඒ දුර ප්‍රමාණය අඩු වේ.
කාලය රන් හා සමානයි කීවද මේ ලද මනුෂ්‍ය උපත තුළ, සද්ධර්මය පවතින කාලයෙහි අගය කුමකට නම් උපමා කරන්නද..!
ඔබ වටා ලෝකයම ප්‍රමාද වන්නන්ගෙන් පිරී ඇත..ඔබද ඒ නිසා ප්‍රමාදයට පත්වන්නේ නිරායාසයෙනි. එනමුදු ප්‍රඥාව මෙහෙයවා මේ ලද උපතින් විපුල ඵල නෙළා නොගන්නේ නම් , අතට දුන් දෙය කටට ලා ගන්නට වරම් නොලත් අසරණයන් ගොඩට ඔබද එක් වනු ඇත...
අප්‍රමාදී වීමම උතුම්ය
මෙහි ඇති ඡායාරූපය හා සටහනින් කොටසක් උපුටා ගැනීමකි....
එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.
සංස්කරණය - තිස්ස ලියනගේ - 0718406060
No comments:
Post a Comment