ප්‍රාණඝාතයෙන් වෙන්වීම, නුදුන් දේ නොගැනීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම, සුරාවෙන් වැළකීම..
මෙම සික්ෂා පද තුළ මිනිසෙකුගේ දෙලොව දියුණුවට අවශ්‍ය සියල්ල ගැබ්වී ඇත. එක් සික්ෂාපදයක්වත් නොකඩවා සිටින්නට දිනක් උත්සාහ කර බලන්න.එවිට එහි ඇති ගැඹුර අවබෝධ වනු ඇත.
චේතනාවකින් යුතුව, මැරෙන බව දැන ගෙන මදුරුවෙක් මැරීම තුළින් සිල් පදය කඩවේ. අතේ වසා සිටින මදුරුවකුට අතින් ගසා ඌ මරණයට පත්වේ. මෙය ක්ෂණයකදී වන දෙයකි. ඔබ ඇතැම් විට සිතන්නේ ඔබ හිතා මතා කරේ නෑ කියායි. නමුත් එය ඔබගේ සතියෙහි දුර්වල කමකි. ඔබේ සිත වේගයෙන් ක්‍රියාත්මක වෙමින් එම සතා මරණයට පත් කරන චේතනාව ක්ෂණිකව ක්‍රියාත්මක වේ.
අන් අයකුගේ බව දැන දැන අනවසරයෙන් ඔබ යමක් භාවිතා කරයි. බිම වැටී ඇති දෙයක් , කාටවත් අයිති නැති දෙයක් යැයි සිතා ඔබ දේවල් පරිහරණය කරයි.නමුත් එය ඔබට දුන් දෙයක් නොවේ. "අදින්නා දානා වේරමණී" යනු සොරකම් කිරීමෙන් වැළකී සිටීම පමණක් නොව, ඔබට නුදුන් දේ නොගැනීමයි. ඇතැම් අය රජයේ දේපළ තමන්ගේ පුද්ගලික දේ සදහා භාවිතා කරයි. කාර්‍යාල වල වැඩ කරන අය හාෆ්ෂීට්, පෑන් වැනි දෑ ගෙවල් වලට ගෙන යයි. නමුත් ඒවා ඔබේ පුද්ගලික දේවල් නොවන පොදු දේවල් බැවින් හා ඒවා ඔබට කවුරුන් හෝ පුද්ගලික පරිහරණයට නොදුන් නිසා, එය නොදුන් දේ ගැනීමකි. මහාමාර්ග ඉදිකිරීම් වලදී, ඒවාට ගන්නා මැටල්, වැලි, ගල් වැනි දෑ ඇතැම් අය තමන්ගේ පුද්ගලික පාරවල් සෑදීමට යොදාගයි. එය නුදුන් දෑ ගැනීමකි. ඇතැමුන් රජයට අයත් ඉඩම් , තමා සතු කරගනී. රජයට අයත් දේ යනු සියළු ජනතාවට අයත් දේවල් බැවින් විපාකයද එක් කෙනෙකුගෙන් යමක් සොරකම් කරනවාට වඩා වැඩි බරපතල දෙයකි.
බොහෝ අය විහිළුවට බොරු කියයි. විහිළුවට කීවද චේතනාව අසනු ලබන පුද්ගලයා රැවටීමට ලක් කිරීමයි. මහත් විනාශයක් කරන බොරු මෙන්ම හානියක් නොවන බොරුද තිබේ. බොරුව හා සම්‍යක්ප්‍රයෝග යනු අහසට පොළොව මෙනි. චේතනාව ඉදුරා වෙනස් වේ. කෙසේ නමුත් අන් අය රවටන අදහසින් බොරු කීම තුළින් සික්ෂා පදය කැඩේ.
මේ ආකාරයට පන්සිල් පද පහ ඉතාමත් ගැඹුරින් අවබෝධ කරගත යුතුය. කටපාඩමින් පන්සිල් පද පහ කියවීම යනු පන්සිල් රැකීම නොවේ. එහි අදහස ගැඹුරින් සිතට ගනිමින්, දැඩිව අධිෂ්ඨානයක පිහිටා, මනා සතියකින් යුතුව රැකිය යුත්තකි. මුලදී පන්සිල් පද කැඩෙන බවවත් නොතේරේ. ඔහේ පුරුද්දට බොරු කියවේ. අන් අය සතු දේවල් අනවසරයෙන් පාවිච්චි වේ. විශේෂයෙන් කාර්‍යාල වල වැඩ කරන විට බොරු කීමට සිදුවේ යැයි අදහසක් සිතේ පවතී. නමුත් දැඩි අධිෂ්ඨානයකින්, වටිනාකමක් දී පන්සිල් පද පහ රකිමියි සිතා , එය පුරුදු වත්ම, ක්‍රමයෙන් සිත එයට හුරු වේ. බොරුවක් කියූ විගස සිතට එය දැනේ.
කාලයක් යත්ම, බොරුවක් කියන්නට කටට එත්ම සතිය ක්‍රියාත්මක වේ. එයින් වැළකේ.
මෙලෙස පුරුදු වෙද්දී කිසිදු ආයාසයකින් තොරව පංචසීලය ආරක්ෂා වේ. එවිට ආයාසයක් දැරිය යුත්තේ ඒවා කැඩීමටයි. ජීවීතය ගියද, කෙතරම් අලාභ වුණිද, රැකියාව අහිමි වුණිද, අන් අය අමනාප වුණිද, සිල් පද නොකඩන තැනට සිත පත්වේ. සතිය දියුණු වේ.
පන්සිල් රැකීම සදහා මනා සතියක් අවශ්‍ය වේ. ඇත්ත වශයෙන්ම මෙලෙසින් පන්සිල් රකින විට , ඒවා කඩවෙන්නට තිබෙන අවකාශ, අවස්ථා නැත්තටම නැතිවී යයි. බොරු කියන්නට අවස්ථා එන්නේම නැති තරම්ය. ආවත් ඒවායින් වැළකී සිටීමට, මගහැර යාමට හැකියාව ලැබේ. සිත තුළ නිරන්තර ප්‍රීතියක් රැදේ. තමාගේ අභ්‍යන්තර පාරිශුද්ධ භාවය හදවතටම දැනේ. බුදු රජාණන් වහන්සේ නිත්‍ය සීලයක් ලෙස රකින්නට කිවූ දෙයෙහි ඇති ගැඹුර අවබෝධ වේ. මෙතෙක් කල් බුද්ධ වචනයට පිටුපා සිටි බව තේරේ.
නමුත් කෙතරම් සිල් රැක්කද ධර්මයේ හරය යනු සීලය නම් නොවේ. සීලට නිවනට අතයවශ්‍ය අංගයකි. එසේ නොවේ නම් බුදුරජාණන් වහන්සේ එය ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට ඇතුළත් නොකරනු ඇත. කෙතරම් සිල් රැක්කද සමාධිය හා ප්‍රඥාව නොවැඩෙන තාක්, නිවන නම් දුරය. අනෙක් අතට තමන් සිල් රකිනවා යැයි මාන්නයක් සිතේ ඇතිවනවා නම් එයද මෝඩකමකි. අවසානයේ අප නැති කරන්නේද මෝඩකමයි.
සිල් රකින්න. නමුත් එය උපාදානය නොකරන්න.
මෙලෙසින් වටිනාකම අවබෝධ කරගෙන නිවන් මාර්ගයේ පළමු අඩිය වන සීලය රැකීමට බෞද්ධයන් ලෙසින් අප පුරුදු වෙමු.
මඩ ගසා ගැනීම පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් පහත link එකේ ඇත. https://waharaka.com/
මෙහි ඇති ඡායාරූප ( සංස්කරණයට පෙර ) හා සටහනින් කොටසක් අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.
සංස්කරණය - තිස්ස ලියනගේ - 0718406060
No comments:
Post a Comment